Friday, December 30, 2011

ඈනුමක් අරින්න... මුළු හදවතින්ම...

අපේ ජීවිත ආතතියෙන් පිරිලා.. හැම වෙලාවෙම මොකක් හරි වැඩක් කරන්න වෙලා. නැත්තං ඉස්සරහට කරන්න තියෙන වැඩක් ගැන හිතන්න වෙලා. අපි අපේම ජීවිත ඇතුලෙ හිරකාරයො වෙලා.

පිටසක්වලයා මේ ආතතියෙන් මිදෙන්න අළුත් ක්‍රම කිහිපයක් හොයාගෙන තියෙන්නෙ. ඒ කිව්වෙ “ස්ට්‍රෙස් රිලීසින් මෙතඩ්“ වගයක්. මුල්ම පියවර. හරි සරලයි. මුලින්ම හොඳ හුස්මක් ගන්න ඊට පස්සෙ ගමටම ඇහෙන්න හොඳ හයියෙන් ඈනුමක් අරින්න. ඔබේ හදවත පෙලූ ඒ ආතතියට මොහොතකට හෝ සහනයක් ලැබේවි. උත්සාහකරලා බලන්න.

ජීවිතයට කම්මැලිකම කියන එක අත්‍යාවශ්‍ය දෙයක්. අඩුමගානෙ සතියකට දවසක් හරි කම්මැලිකමෙන් ඔහේ ගතකරන්න ලැබෙනවනං ඔබට ජීවිතය ගැන ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වේවි. කකුල් දෙකම පුටුව උඩට අරගෙන සරම ඔළුවෙ ඉඳන් පොරෝගෙන කාටූන් එකක් බලන්න. ආතතියෙන් මිදෙන්න ඒකත් හොඳ ක්‍රමයක්.

ඉහතකී හැම ක්‍රමයක්ම අත්හදා බැලූ පසු තවදුරටත් ඔබට ආතතිය පවතී නම් ෆෝන් එක ඕෆ් කරදමා මදුරුදැල දමාගෙන ඔළුවෙ ඉඳන් පොරෝගෙන හොඳට නිදාගන්න. උදෑසන එලාම්එක වදිනතුරු මදුරු දැල ඔබව බාහිර ලෝකයේ ප්‍රශ්ණවලින් ආරක්‍ෂා කරගනීවි. බාහිර ලෝකයේ කිසිදු සංකීර්ණ ප්‍රශ්ණයකට මදුරු දැල හරහා ගමන්කල නොහැකිබව විද්‍යාත්මකව ඔප්පු කර පෙන්නන්න පුළුවන්. එලාම් එක ඕෆ් කර නැවත විනාඩි 5කට ඇස් පියාගෙන පැය භාගයකට පසු ඇහැරුන විට ඔබට අළුත් ජවයකින් ප්‍රශ්ණවලට මුහුණ දෙන්නට පුළුවන් වේවි.

විහිළුවකට නෙමෙයි. කලබල ලෝකයට යන්න දෙන්න. ජීවිතයට ඔහේ ගලා යන්නට ඉඩ දෙන්න. ලැබෙන දෙයින් සතුටු වන්න. තමන් වෙනුවෙන් ගතකරන්නට වෙලාවක් හොයාගන්න.

අවවාදයයි: මෙම පෝස්ට් එක ගැන ඕනවට වඩා සීරියස් නොසිතන්න.

Thursday, December 8, 2011

Do we have to.......

පිටසක්වලයට රොබින්-හුඩ්ගේ පරපුරත් එක්ක දුරීන් නෑකමක් තියෙනවා. ඒ කිව්වෙ විදීම අතින් රෙකෝඩ් තියපු පොරක් තමා පිටසක්වලයා. (ඔය විදිනවා කිව්වෙ වචන) ඉතින් මේ පහුගිය දවසකත් පිටසක්වලයා දාර විදිල්ලක් විද්දා. මෙන්න මෙහෙමයි වුනේ.

පහුගිය දවස්වල පිටසක්වලයලට සෙමිස්ටර් එක අවසානයේ exam තිබුනනේ. ඉතින් ඒකෙ අර “ඉලෙක්ට්‍රොනික් ගැජමැටික්“ ගැන පේපරේ කොටස් දෙකක් තිබුනා. ඒ කොටස් දෙක උත්තර පොත් දෙකක වෙන වෙනම ලියන්ඩ කියලා උපදෙස් පිටුවෙ තිබුනා. හැබැයි ඒ දෙක එකට අමුණන්න ඕනෙද කියලා තිබුනෙ නෑ. ඉතින් අන්තිම විනාඩි 15දි පේපර් ගැට ගහන්න කියලා කියපුහම මොකද කරන්නෙ කියලා වටපිට බැලුවා.
එතකොට අපේ ලෙක්චරර් කෙනෙක් එතනින් යනවා දැකලා පිටසක්වලයා කථා කලා මෙහෙම.
-sir, do we have to.......
මඟුලයි.. “අමුණනවා“ට කඩ්ඩෙන් කියන්නෙ මොකක්ද..? මේ දිව අග තියෙනවා එන්නෑ.. (කොහොමත් පේපරේ දැකලා මොලේ කොලොප්පං වෙලානෙ හිටියෙ..)
තප්පර ගානක් ගියා.. ම්හු.. වචනෙ එන්නෙම නෑ.. දැන් සර් මගෙ මූණ දිහා බලං ඉන්නවා.. කොරන්න දෙයක් නෑ.. කමක් නෑ දන්න සිංහලේටම බහිනවා..
-“අමුණන්න ඕනෙද මේක...“
ඒක අහපුහම සර්ටත් හිනාගියා.
-“නෑ, නෑ පිස්සුද.. වෙන වෙනම එකතු කරන්නෙ..“

කමක් නෑ ඉතින්.. සනත් ජයසූරියත් විද්ද එකේ මම විද්දහම මොකෝ.

Sunday, December 4, 2011

රූප රචනා..

පිටසක්වලයා ඒලෙවල් කරන කාලෙ කරපු පොඩි පරීක්‍ෂණයක් තමයි මේ තියෙන්නෙ..


Thursday, December 1, 2011

කොලොම්බස්ට පෙර...

පිටසක්වලයට දැනට වඩා පොඩි කාලෙ පිස්සු. හොඳ වෙලාවට ඒකාලෙ මේ බ්ලොග් කෙරුවාව තිබ්බෙ නැත්තෙ. එහෙම තිබ්බනං මොන පිස්සුවක් නටයිද දන්නෑ. කොහොම හරි ඔය වගේ පොඩි කාලෙ පිස්සු තද වෙච්ච වෙලාවට මටත් මාර මාර අයිඩියාස් තමා එන්නෙ. මේ කියන වැඩේ වුනේ පිටසක්වලයා 2 වසරෙ විතර ඉන්න කාලෙ.

ඔන්න දවසක් කව්ද එකෙක් පිටසක්වලයාට කිව්වා මේ ලෝකෙ (රොටියක් වගේ තැටියක් නෙමෙයි) බෝලයක් වගේ එකක් කියලා. ඒක අහපු වෙලාවෙ ඉඳන් පිටසක්වලයාට පූර්ණ අවුල. ටිකක් කල්පනා කොරලා බලපුවහම ඉතින් ඒකත් වෙන්ඩ පුළුවන් වැඩක් කියලා පස්සෙ තේරුනා. ඊට පස්සෙ ටිකක් කල්පනා කර කර ඉන්න කොට පිටසක්වලයට කල්පනා වුනා "බොලේ.. එහෙනං මෙහෙ ඉඳන් හාරගෙන හාරගෙන ගියොත් ලෝකෙ එහා පැත්තෙන් මතුවුනහැකිනෙ" කියලා.. ඩයල් එක සුරුස් ගාලා ගිහින් සිතියම් පොතක් හොයාගෙන රොල් කරලා බැලුවා එහෙම වුනොත් කොහෙන් මතුවෙයිද කියලා.. අම්මට සිරි ඇමරිකාව කිට්ටුවෙන් වගේ. එළකිරි වැඩක්නේ.
ඉතින් ඊට පස්සෙ පිටසක්වලයා කල්පනා කරා කොතනින්ද හාරන්න පටන් ගන්නෙ කියලා. ඔන්න එතකොට අපේ ළිඳ මතක් වුනා. කොහොමත් ඒක බඹ 8යි ගානක් ගැඹුරයි. ඉතින් වැඩේ ලේසියිනෙ එතකොට.
ඉතින් මොන මඟුල කරන්නත් කලින් තාත්තට කියලා ඉන්ඩ එපැයි.. ඉතින් මම තාත්තට කිව්වා මට මෙහෙම අයිඩියා පාරක් ආවා.. ඒක කලොත් අපිට මාර මාර ප්‍රතිලාභ ගන්ඩ පුළුවන් වෙයි කියලා..

තාත්තා ඔය ගොන් කථාව අහගෙන ඉඳලා ටිකක් කල්පනා කරලා බොහොම කූල් පිට කිව්වා..
"ඔය වැඩේ හරි යන්නෑ.. බැරි වෙලාවත් ඔහොම හාරගෙන ගිහින් මූදකින් එහෙම මතු වුනොත් අන්තිමට අපිට බොන්න වතුරත් නැතුව යනවා.." කියලා.

Wednesday, November 30, 2011

බාධක දැක පෙරමුණේ, මොන නරියාද නැවතුනේ...!

අද මැත්ස්.. මළ මඟුලයි.. කොහොමින් කොහොමින් හරි මේ මළ ඉලව්ව අදින් ඉවර වෙන එකනං ලොකු දෙයක්. අන්න කස්ටිය හෝල් එක ඇතුලට යනවා.. ඉක්මනට රිංගගෙන ඩෙස් එක හොයාගන්න ඕනෙ.

 මේ තියෙන්නෙ දිලිසි දිලිසි.. එළ එළ අද ජනේලයක් අයිනෙ පොට් එකක්.. හුළං පාරක් වැදි වැදිම ලියන්ඩ පුළුවන්

-You are not allowed to keep any  unauthorized materials with you. If you have mobile phones with you please keep them outside ...
හරි හරි ඉතින් ඕක හැමදාම කියන බණේනෙ.. ඇන ඇන කියන්න ඕන් නෑ, අපි දන්නවා.. (කෝකටත් සාක්කුවට අතදාලා බලන්න ඕනෙ.. ෆෝන් එක බෑග් එකට දැම්මාද මතක නෑ..)

අපොයි පේපරේ බෙදන්ඩ පටන් ගත්තා..වමට එකයි, දකුණට එකයි.. ඔන්න මටත් එකයි.. බලමු උපදෙස්.. පැය 3යි.. ප්‍රශ්ණ 5යි.. Answer all questions.. දෙන්නං ජම්බු..

මළ මඟුලයි පළවෙනි ප්‍රශ්ණෙම තේරෙන්නෑ.. මොනවද මේ අහලා තියෙන්නෙ.. හරි හරි ඒකෙ c) කොටසනං මොනවා හරි කලහැකි වගේ.. බලමු අල්ලලා..
‍මේ මොකක්ද වෙන්නෙ කොතන හරි වැරදිලා තියෙනවා, අවුලක් නෑ.. දැන් ඕක හොයන්ඩ ගියොත් පැය 3ම ඕක හොය හොය ඉන්ඩ වෙන්නෙ.. ඊළඟ ප්‍රශ්ණෙ බලනවා.. ඒකෙත් තත්වෙ භයානකයි වගේ..
.............................
කීයද වෙලාව? මලා 11ට කාලයි.. තව ප්‍රශ්ණ 3ක්ම එහෙම්මමයි.. ඉක්මනට හදපං පුතේ... මේ රෙද්දෙ කැල් එකත් පිස්සු කෙලිනවනේ... මොකක්ද මේ වෙන්නෙ... ආ.. පිස්සු නොකෙල තියෙයියැ රේඩියන් ඕන එකට අංශකනෙ දාං ඉන්නෙ..
............................
-You have only half an hour more...
හපෝයි මං ඉවරයි.. ඉතුරු ප්‍රශ්ණ දෙකනං කියවන්ඩවත් වෙන්නෑ.. මේ රෙද්දෙ ගානෙ උත්තරේ එන්නැත්තෙ මොකද? ෂිකේ ෂිකේ මේකනං මහ පජාත ගානක්..
...........................
-You have only 15 minutes more. please tie up your answer sheets and continue writing..
කෝ මේ නූල... නූල අරන් අහවල් එක බඳින්ඩයැ.. පොත පිරෙන්ඩවත් උත්තර ලිව්වයැ..
මේ ගාන ගොඩ දාන්ඩ හම්බෙන්නෑ.. ඔන්න ඔහෙ අතඇරලා දානවා.. බලමු ඉස්සෙල්ලා මඟ ඇරලා ආපු එකක්වත් ගොඩ දාන්න පුළුවන්ද කියලා..
අළුත් ගානක් නං අල්ලන එකේ තේරුමක් නෑ, තව විනාඩි දෙකයි.. බලමු ඒකකුත් විහිළුවට වගේ කියෝලා.. වැඩක් නෑ, වැඩක් නෑ.. පජාතයි මට තේරෙන්නෑ..
කමක් නෑ කමක් නෑ ඔය මදෑ.. බලමු දැනට ලකුණු කීයක් විතර හැලිලද කියලා.. 5යි, 15යි, 22යි, 35යි, ආපෝ මෙතන පදාසයක්ම කරලා නෑ එතනම ලකුණු 20යි.. මීට වඩා ලේසියි වගේ තියෙන ලකුණු ගාන ගැන්නනං.. තේරුමක් නෑ, තේරුමක් නෑ...
-STOP WORK, Please remain on your seats until we ask to leave... ඉවරා..යි..
දැන් ඉතින් කැල් එක එහෙම ඕෆ් කරලා සාක්කුවට දාගෙන යන්න ලෑස්ති වෙන්න ඕනෙ.. එකතු කරනකොට නං වමෙන් දෙකයි, දකුනෙන් දෙකයි.. මට ඉස්සරහා එකාගෙ එකයි මගෙ එකයි... වැඩේ ඉවරෙටම ඉවරා..යි


ප.ලි. මොකක්ද මේ හතර බීරි ටයිටල් එක කියලා බලන්න ඇති... මට ඕක කල්පනා වුනේ පේපරේ ලිය ලිය ඉන්නකොට.. ඒකයි ටයිටල් එකට දැම්මෙ...

Wednesday, November 9, 2011

ජීවිතය බම්බලපිටියට ඇරලවා රිසිට් එකක් රැගෙන පැමිණියෙමි...

සෑහෙන දවසකින් පිටසක්වලයට පෝස්ට් එකක් දාන්න බැරි වුනේ පහුගිය දවස් ටිකේ පිටසක්වලයගේ ග්‍රහචාරේ අවුලක් හින්දද මන්දා පිටසක්වලයා අතගහන අතගහන විද්‍යුත් උපකරණ පිච්චෙන්න ගත්තු නිසා.. කොහොම හරි අන්තිමට පිටසක්වලයගේ ජීවිතයේ දුකට සැපට හිටිය හිතවතා හෙවත් ලැප් රාජයාගේ කී බෝඩ් එකත් පිච්චුනා... ඉතිං ටයිප් කරන විකාර වෙනුවට වෙන වෙන විකාර ටයිප් වෙන්න ගත්ත නිසා පෝස්ට් එකක් දාන්න ගෙදර එනකම්ම ඉන්න වුනා.. ඉතින් පෙරේදා ලැප් රාජයා හදන්න දාන්න යාළුවෙක් එක්ක බම්බලපිටිය පැත්තෙ ගියවෙලේ පොඩි චාටර් වැඩකුත් වුනා.

ඔන්න පිටසක්වලයා ලැප හදන්න දීලා එළියට බහිනකොට යක්කු දවල්ට ගස් නඟින වෙලාව ඇවිල්ලා. ඒ කිව්වෙ දවල් 12ට විතර ඇති. ඉතින් වටපිට බලලා පාරෙන් එහාපැත්තෙ තිබ්බ මුස්ලිම් කඩයක් දැකලා දෙන්නත් එක්ක රිංඟලා "රයිස්" පාරක් එහෙම දාලා එළියට බැහැලා ආපසු එන්න මොරටුව පැත්තට බස් එකකට නඟින්න ගාලු පාරේ බස්හෝල්ට් එක ගාවට ආවා... එතන අක්කා කෙනෙකුත් බස් එකක් එනකං වගේ බලාගෙන හිටියා. ඉතින් මායි මගේ ගජයයි බස්හෝල්ට් එකේ යකඩ බම්බුවකට හේත්තු වෙලා නිකං පොරවල් දෙකක් වගේ දත්හාර හාර ඔය අනං මනං කියෝ කියෝ හිටියා..

සෑහෙන වෙලාවක් ගියා. අර ලස්සන අක්කත් එතනම හිටියා. බස් එකක් එනපාටක් නෑ. අඩුම ගානෙ 154ක් වත් නෑ.. ඉතින් මමත් ‍කටපියන් ඉන්න බැරුවට "මොකෝ බං මේ බස් නැත්තෙ.." කියලා කිව්වා.. මේක ඇහිච්චහම අර අක්කියා නිකං කින්ඩියට වගේ අපි දිහෑ බලලා හිනාවක් දැම්මා.. එතකොටයි මීටර් වුනේ.. බොලේ දැන් බම්බලපිටියෙන් එහාටත් පාර වන්වේ නොවැ..

අපි දෙන්නත් නිකං අපි නෙමෙයි වගේ ආඳා තියරිය දාලා එතනින් ලෙස්සලා ගිහින් ඩුප්ලිකේෂන් පාරට ගිහින් කළුතර බස් එකක නැඟලා ආපහු ආවා.

ප.ලි. මට තාම හිතා ගන්න බෑ අක්කා බස් හොල්ට් එකේ මොනවද කලේ කියලා..

Friday, October 14, 2011

එව්වා විතරක් නොව මෙව්වා දැකීමෙන්ද ඔබේ දරුවා නරක් විය හැක.


දැං ටීවී එකේ ඉස්සර වගේ අරක්කු සිගරට් සීන් වලට කොටු දාන්නෙ නැති එකනං ලොකු දෙයක්... ඉස්සර ෆිල්ම් එකක් බලන්න ගියහම බලන්න වෙන්නෙ භාගයයිනෙ.. අපිට ඩීවීඩී විදිහට හොයාගන්න නැති, ටොරන්ට් විදිහටත් නැති හුඟක් හොඳ ෆිල්ම් වලින් භාගයක් විතරක් බලන්න වෙනකොට ඉතින් මල් පිපෙනවනේ... දෙයියන්ගෙ පිහිටෙන් දැංනං ඉතිං ඒ වදේ නෑ. ඒ වෙනුවට තිරේ පල්ලෙහයින් ඔබේ දරුවා අරක්කු සීන් දැකීමෙන් ඒවාට යොමු විය හැක, ඔබට සිගරට් බීමෙන් පසු එක එක දේවල් කරගත නොහැකිවනු ඇත, වගේ පණ්ඩිත වාක්‍යයක් වැටෙනවා.. හැබැයි සමහර වෙලාවට ඒකත් ඇණයක් වෙනවා.. (උපසිරසි උඩින් වැටුනහම) 

කොහොමහරි අර අනිත් ජාතියෙ සීන් වලටනං තාමත් කොටු දානවා.. නළුවයි නිලියයි, වැරදි පොටකට එන්ටර් වේගෙන එනව පේනකොටම කොටු වැටෙන්න පටන් ගන්නවා... හැබැයි ඉතින් ඒකටත් අර වගේ පණ්ඩිත වාක්‍යයක් දැම්මොත් මක්වෙයිද..?
-මෙව්වා දැකීමෙන්ද ඔබේ දරුවා නරක් විය හැක.
-අනුන්ගේ මල්වලට වැසීමෙන් ඔබ ගමටම නෝන්ඩි පොරක් වනු ඇත.  වගේ වාක්‍යය ටිකක් පිටසක්වලයා යෝජනා කරනවා..

කොහොම හරි ඒකනං හරියන වැඩක් වෙන එකක් නෑ.. සාමාන්‍යයෙන් තමන්ගෙ දරුවනුත් එක්ක ටීවී එක බල බල ඉන්න කොට අර වගේ සීන් එකක් ආපුහම දැනෙන අපහසුතාවය ගැන හිතාගන්න පුළුවන්නෙ.. ඒ හින්දා ඒවට ඔන්න ඔහෙ කොටු දාපුවාවේ... හැබැයි දැන් ඉන්න පොඩි එවුන් නං ලෝක අණ්ඩයෝ... කොටු දාපුහම “අන්න තාත්තේ අරුන් දෙන්නා වැඩ පටන් අරන් වගේ“ කියන ජාතියෙ පොඩි එවුන් දැන් ඉන්නෙ..

Thursday, October 6, 2011

POST THIS ON 10 MORE PEOPLE’S WALL


මම අට වසරෙ ඉන්නකොට අපේ පන්තියේ කවුද හාල් පාරුවෙක් මට දුන්නා පොටෝකොපි කරපු කොළයක්. ඒකෙ තිබ්බා මෙන්න මෙහෙම කථාවක්. මේ කොළේ කවුරු හරි කියෙව්වොත් එයා අනිවාර්යයෙන්ම ඒක තව දහ දෙනෙකුටද කොහෙද පොටෝකොපි කරලා දෙන්න ඕනෙ, එහෙම දුන්නොත් මාර මාර දේවල් හම්බ වෙනවා, එහෙම නොදුන්නොත් භයානක මරණයක් අත්වෙනවා, අහවල් අහවල් අයට එහෙම දේවල් වුනා වගේ කතන්දර ගොඩක්. මම ඕක පොටෝ කොපි කලේ නෑ. හැබැයි එහෙම නොකලයි කියලා මට වෙච්ච අමුතු පාඩුවක්වත් වාසියක්වත් නෑ. කොටින්ම මට භයානක මරණයක් නං අත්වුනේ නෑ. මට ඔය කතන්දරේ හදිස්සියෙම මතක් වුනේ මේ දවස් ටිකේ පේස්බුකියේ මේ දවස්වල එකම වගේ වෝල් පෝස්ට් එක හතර වටේම කැරකි කැරකි තියෙනවා දැකලා. මොකක් හරි බොළඳ රූල් දෙක තුනකට පස්සෙ “post this in ten more people and blah.. blah..” කියලා එල්ලලා දාපුවහම ඉතින් ඕක වටේ කැරකෙනවා.

පේස්බුකියට කලින් ඔය වගේ වැඩක් තිබුනා sms වලින්. මොකක් හරි ගොන් මැසේජ් එකකට පස්සෙ “Send this message to 5 more people and…” කියලා දාපු මැසේජ් පැය භාගයක් විතර ඇතුලෙදි දහයක් පහලොවක් ආපු වෙලාවල් පිටසක්වලයට තිබුනා. කොහොමින් කොහොමින් හරි ඒකෙන් පෝසත් වුනෙත් අහක ඉන්න ටෙලිපෝන් කොම්පැනිය. පේස්බුකියෙන් ඔය වැඩේ කරන එක අරිට වඩා ගොඩක් ලාබ සහ වේගවත් වැඩක් හින්දා ඒ වැඩේ දැන් ජයටම නැඟලා යනවා. පිටසක්වලයටනං ඔය වැඩේ දැං අජීර්ණ වෙලා තියෙන්නෙ. ඒත් ඉතිං මොනවා කරන්නද..? ඔහෙ බලං ඉම්මු.. අනිත් එක මගෙ අතින් පයින් යනවයැ. උන්ට ඕන නං උන් දාගත්තාවෙ.

මට පාන් යැ..

Saturday, October 1, 2011

ජනපදයක් වැනසුවෙමි

පිටසක්වලයත් එක්ක දැන් සෑහෙන කාලෙක ඉඳන් අවුලක් තියෙන සත්තු ජාතියක් තමයි මීයෝ කියන්නෙ. පිටසක්වලයට අයත්ව තිබුණ නිෂ්චල සහ චංචල දේපල ගොඩක්ම මීයන්ගේ කුරිරු දත් පාරවල් වලට අහුවෙලා ක්‍රියාකාරීත්වයෙන් විශ්‍රාම අරන් තියෙනවා. විශේෂයෙන්ම පිටසක්වලයගේ කොම්පීතරය එක්ක මීයන්ට පුදුම අවුලක් තියෙන්නෙ. මුලින්ම දවසක් “අපි ඉන්න තැනට මොකටද ඉලෙක්ට්‍රොනික් මීයෝ“ කියන්ඩ වගේ පිටසක්වලයගේ කොම්පීතරේ මූසිකයගේ වයර් එකට කෙලලා ගිහින් තිබ්බා. ඊට පස්සෙ දවසක පිටසක්වලයගේ ප්‍රින්ටරේ ඇතුලේ අර මහත පටියක් වගේ තියෙන වයර් එක හොඳ ලස්සන රටාවකට කාලා දාලා තිබ්බා. 

ඉතින් ඔය වගේ අනේක විධ අතවර වලට ලක්වෙලා හිටපු පිටසක්වලයාට දැන් ටික දවසක ඉඳලා මේ ඒරියල් එකට අළුතෙන් බැහැපු මී ඩයල් එකක් පොඩි පොඩි සංඥා වගයක් දීලා ගිහින් තිබුනා. පිටසක්වලයා වැඩකරන මේසෙ උඩ තිබුන සමහර දේවල් හදිසියේ අස්ථානගත වීම් කිහිපයකුත් පසුගිය සමයේ වාර්තාවුනා. ඒත් බොහොම පිළිවෙලට බඩු අසුරා ඇති මගේ කාමරයේ එවැනි දෑ අස්ථානගත වීම බොහොම සුලභ දෙයක් නිසා මම වැඩිය ගනන් ගත්තේ නෑ. පසුව මේසෙ උඩ කුඩා කළු පැහැති සිලින්ඩරාකාර වස්තූන් කිහිපයක් කරලා ගිහින් මාව සටනකට පොළඹවා ගැනීමේ උත්සාහයන් කිහිපයකත් ඌ නිරත වෙලා හිටියා. හැබැයි ඉතින් සතියකට දින දෙකක් විතරක් ගෙදර ඉන්න පිටසක්වලයාට ඌට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට වෙලාව හොයා ගැනීමේ ලොකු ප්‍රශ්ණයක් තිබුනා.

එලෙස කරබාගෙන සිටීම මගේ නිවටකමක් ලෙස වරදවා වටහාගත් මේ මී තෙම ඉන්පසු කොතරම් එඩිතර වූවාදැයි කියතහොත් කාමරේ බිත්තියෙ අයින දිගේ ඇදලා තියෙන ඇන්ටනා වයර් එක දිගේ මහත්වූ ආඩම්බරයෙන් මා ඉදිරි පිටම බැසයන්නට පටන් ගත්තා. තවදුරටත් බලා සිටියහොත් මූ ත්‍රස්තවාදී සංවිධානයක් හදාගෙන ඇවිත් මගේ කාමරේම අත්පත් කරගන්නා බව තේරුම්ගත් මම මේ සති අන්තය මීයා වැනසීම වෙනුවෙන් යොදවන්නට තීරණය කලා.

ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන්ම පිළිතුරු ලබා දිය යුතුයයි පිටසක්වලයා කොහෙදිදෝ මන්දා කියවලා තිබ්බ නිසා සෙනසුරාදා උදෙන්ම මම දිගුදුර මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් පෙර බුද්ධි අංශ තොරතුරු වලින් තහවුරු කරගෙන සිටි සතුරාගේ මූලස්ථානයට කෙලින්ම  පහර දුන්නා. (මූ සිය මූලස්ථානය කරගෙන හිටියෙ මා විසින් කලකට ඉහතදී මී ප්‍රහාරයකින් අනතුරුව අත්හැර දමන ලද අර පෙරකී ප්‍රින්ටරේ.. ඉන්ක්ජෙට් ප්‍රින්ටර්වල තින්තවල කාබන් සුවඳට මීයන් ආකර්ශනය වන බව කවුද එකෙක් මට කිව්වා.. ඇත්තද දන්නෑ..)
නමුත් මීයාගේ බුද්ධි ජාලය මට වඩා ප්‍රභල බව තහවුරු කරමින් ඒ අවස්ථාව වනවිට මීයා උපක්‍රමශීලීව සිය මූලස්ථානයෙන් පලාගොස් තිබුනා. භූමිය අත්පත් කරගැනීමෙන් පසු මට එම ස්ථානයේ සිදුකල කැනීම් වලදී කලකට ඉහතදී අස්ථානගතවූ (සමහර ඒවා අස්ථානගතවෙලා යැයි නොදැන සිටියෙමි) බොහෝ දේවල් සොයාගත හැකිවිය. තවදුරටත් කල විමර්ශන වලදී පැහැදිලි වූයේ මේ යකා මෙම ස්ථානයේ සිට සිය සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කිරීමද සිදුකොට ඇති බවයි. කෙසේ හෝ භුමිය තහවුරු කිරීමෙන් අනතුරුව ස්ථානය පිරිසිදු කර නැවතත් මීයාගෙන් සිදුවිය හැකි ප්‍රතිප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් අද රෑ සේනා සංවිධානය කරගෙන සිටින්නෙමි.


ප.ලි. : අනුන්ගේ කූඩු කැඩීම සම්බන්ධයෙන් පිටසක්වලයා වැඩි කැමැත්තක් නොදැක්වුනද මෙහිදී පිටසක්වලයාට අන් විකල්පයක් නොතිබුණ බව කියනු කැමැත්තෙමි. එමෙන්ම යුධ අපරාද සිදුවූ බවට චෝදනා නැඟීමට කිසිදු පුද්ගලයෙකුට මෙහිදී අයිතියක් නැතිබවද මෙහිදී මතක් කරනු කැමැත්තෙමි. මන්දයත් සටන් විරාමය මුලින්ම කඩකලේ මීයා බැවිනි...

Friday, September 30, 2011

ආ... කඩේ ආවද...?


කඩේ ඇතුලෙ ඉන්න මිනිහගෙන් ආයෙ අහන්න දෙයක් තියනවයැ කඩේ ආවද කියලා. ඇත්තට හිතලා බැලුවොත් මිනිහෙක්ට තවත් මිනිහෙක්ගෙන් අහන්න පුළුවන් මෝඩම ප්‍රශ්ණවලින් එකක් තමයි ඕක. ඒත් ඒ වචන දෙක නිසා මිනිස්සු අතර හිතවත්කම් කියන එක පුදුම විදිහට ගොඩනැඟෙනවා. එය වචන දෙක නොකියා ඒ මනුස්සයා ඔතනින් ගියානම් සමහර විට ඒ සිද්ධියම ඇති ආපහු ඒ මිනිස්සු දෙන්න මූණවත් නොබලා ඉන්න. මිනිහා කියන්නෙ මහ පුදුම සතෙක්. උනුත් එක්ක ගණුදෙනු කරන හැටි ගැන පිටසක්වලයට තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.

Saturday, September 24, 2011

හෙලෝ ආච්චි අම්මේ...

චරිත: චූටි ගෑනු ළමයෙක් සහ මවක්
ස්ථානය: නිවසක දුරකථනය අසල
දැරිය දුරකථන සංවාදයක යෙදී සිටී. දැරියගේ මව බිත්තියට මුවාවී හොරෙන් අසා සිටී
දැරිය: හෙලෝ ආච්චි අම්මේ, මට දිග... කොණ්ඩයක් ඕනේ.. අනේ ඔයා එන්නකෝ...
රූප රාමුව මවගේ මුහුණේ සමීප රාමුවකට මාරුවේ.. කාලය තත්පර භාගයක් පමණ..
නැවතත් දැරිය,
දැරිය: අපෝ.. අම්මිට වෙලාවක් නෑ එයාට ඔෆිස් යන්න තියෙනවානේ..
රාමුව දැරියගේ මවට... ඇය යමක් කල්පනා කරන බව පෙන්වයි.. කාලය තත්පර භාගයක් පමණ
පසුබිම් කථනය: ඔබේ දරුවාටත් සතියකට අඟල් භාගය බැගින් සති 6 කින් අඟල් 3ක් දිග කෙස් කළඹක් ගන්න අසුවල් ෂැම්පු වර්ගය පාවිච්චි කරන්න..
රාමුව දැරියට. ඇය දිගු කෙස් කළඹක් සමඟ සතුටින් ඉන්නා බව පෙන්වයි... (මවද සතුටිනි)

මාස තුනකට පසු...
ස්ථානය: නැවතත් නිවස දුරකථනය අසල..
දැරිය: හෙලෝ ආච්චි අම්මේ, අනේ ඔයා එන්නකෝ, මට මේ කොණ්ඩෙ කපා ගන්න ඕනේ.. ඉන්න බෑ කසනවා... තඩි බෝවෙලා හරි වදේ...
පසුබිම් කථනය: ඔබේ දරුවාගේ ඔළුවේ තඩි වැනසීම සඳහා අසවල් කෘමි නාශක වර්ගය භාවිතා කරන්න...

Friday, September 23, 2011

මේ ප්‍රවෘත්තියෑ.....

පිටසක්වලයාට දැන් නම් රූපවාහිනී මාධ්‍ය ආයතන වල යන ප්‍රවෘත්ති දකින කොට මල පනින තත්වයක් තමයි තියෙන්නෙ. ප්‍රවෘත්ති ප්‍රකාශයකට වඩා දැන් දැන් ඒවා නිකන් ඕපදූප ප්‍රකාශයක් වගේ වෙලා කියලයි මටනං හිතෙන්නෙ. පිටසක්වලයලා පොඩි කාලෙ නං ප්‍රවෘත්ති දැම්මහම බොහොම රෙස්පෙක්ටබල් විදිහට ඉඳගත්ත බුවෙක් හරි බුවියක් හරි බොහොම සීරියස් පිට ප්‍රවෘත්තිමය වටිනා කමක් තියෙන දේවල් ටිකක් හොඳ ලිඛිත භාෂාවෙන් කියෙව්වා... ඒ කාලෙ දැන් වගේ චැනල් හැට හුට හමාරක් නොතිබ්බ නිසාත් තිබ්බ චැනල් වලිනුත් කීපයක් පමණක් පිටසක්වලයලගෙ ගෙදර අතිප්‍රභල ඇන්ටනා රාජයාට අහුවෙච්ච නිසාත් ඒ කාලෙ පිටසක්වලයලට හුඟක් වෙලාවට බලන්න හම්බ වුනේ යටියන්තොට විකාශනාගාරෙන් ආපු ස්වාධීන කියන එකයි, පිදුරුතලාගලින් ආපු ජාතික කියන එකයි තමයි.. ආණ්ඩුවේ පම්පෝරිය විතරක් වුනත් ඒ උදවිය ඒ කාලෙ ඒක බොහොම ලස්සනට කෙරුවා.. (දැන් මේ කියෝන ඕපදූප අහන් ඉන්නවට වඩා ආණ්ඩුවේ පම්පෝරිය අහන් ඉන්න එක හොඳයි කියලා හිතෙනවා..)

හැබැයි මෙහෙම ප්‍රශ්ණයක් වුනා.. ඒකාලෙ යුද්ද සීන් හින්දා අපේ මාධ්‍ය අයියලට ඕන පදං නිව්ස් තිබ්බා. මොකවත්ම නැත්තං ආමි එකෙන් කොහෙ හරි කැලෑවක තිබිලා ගල්කටස් එකක් හොයා ගත්තා කියලා හරි කියන්න තිබ්බා.. යුද්දෙ අන්තිම කාලෙ හමුදාව පුදුමාතලන්වලට කිට්ටු කරල ඉද්දි අපේ නිවේදක අයියලාට තිබ්බෙ පුදුමම ආතල් එකක්..  දැන් ඉතින් එහෙම නිව්ස් එකක් හොයා ගන්න අමාරු හින්දද මන්දා මේ අයියලා මේ රටේ නැති විකාර කියවනවා.

දැන් ප්‍රවෘත්ති එක මැද්දෙ පොඩි නාට්‍යයයක් යනවා.. “බත් කන අතින් වෙච්ච වැරදි..“ වගේ මොකක් හරි විකාර නමක් දාගෙන ඉතින් කව්රු හරි එකෙක් කියන කථාවක් රඟලා පෙන්නනවා.. ඊට පස්සෙ දේශපාලන වේදිකාවල එක එකා බැනගත්තුවා හොඳ ලස්සනට එඩිට් පාරක් දාලා තව සෑහෙන වෙලාවක් කරකෝනවා. (ඒක දාන්න කලින් නිවේදක මහත්තයා විසින් පොඩි රුඟුමක් රඟලා ඒ කථාව පොඩ්ඩත් මාකට් කරලත් දෙනවා.) අද එකෙක් කව්රු හරි එකෙක්ට බැන්නොත් හෙට අනිකා ඒකට උත්තරයක් අපේ මාධ්‍ය අයියලලව්ව රෙකෝඩ් කොරගෙන දානවා.. ඒවගෙ දේශපාලන මති මතාන්තර විවේචනය කරගන්නෙ බොහොම කලාතුරකින් වෙලාවක තමා. නැත්තං හුඟක් වෙලාවට උන් බැනගන්නෙ උන් උන්ගෙ පවුල් ප්‍රශ්නයක් ප්‍රජනක පද්ධතියෙ ප්‍රශ්ණයක් හරි ගැන කිය කිය. ඉතින් ඒවා අහන් ඉන්න එකෙකුට වැඩකුත් නෑ, කියන එකෙකුට වැඩකුත් නෑ..

ඒ මදිවට මේ ප්‍රවෘත්ති අයියලා අපේ සමාජය යහමගට ගැනීමේ අරමුණින් අපේ මිනිස්සු පාරෙදි තොටේදි කරන වැරදි හොරෙන් රෙකෝඩ් කොරගෙන ඇවිල්ලා හොඳට මූණටම සූම් කරලා රතු පාටින් රවුම් කරලා පෙන්නනවා.. ඒවගේ වැඩක් කොරන්න ඒ අයියලා කොච්චර එඩිතර වෙන්න ඕනෙද නේ... ඒත් ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නෙ ඔය එඩිතරකම් ඔක්කොම පෙන්නන්නෙ පොඩි මිනිහට වෙන එකයි.. ඇමති කෙනෙකුගේ ලේකම් කෙනෙක් මොකක් හරි ජිල්මාට් වැඩකට මාට්ටු වුනහම “රජයේ ප්‍රභල ඇමතිවරයෙකුගේ..“ කියනවා මිසක් උන්වහන්සෙගේ නම කියන්න බයයි..ඔන්න ඕකයි අපේ රටේ නිදහස් ස්වාධීන ජනමාධ්‍යවල තත්වෙ..

පිටසක්වලයා මේ ටික ලිව්වෙ කාටවත් රිදවන අදහසකින්වත් ඒ උදවියව ඒක පාර්ශවිකව විවේචනය කොරන අදහසකින්වත් නෙමෙයි.. මේ විකාර දිරවන්නැති එකෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා පෙන්නන්න.. (හැබැයි මම දන්නෑ මේවා විකාර විදිහට පේන්නෙ මට විතරද කියලා..)

හැම තුවාල කැලලකටම කථාවක් තියෙනවා


පිටසක්වලයට පොඩි කාලෙ සමබරතාවය පිළිබඳ ලොකු අවුලක් තිබුනා. ඒ කියන්නෙ ලෙඩක් නෙමෙයි.. එක විදිහකට ඉන්න බැරිකමට දඟලන්න ගිහින් හිසේ කෙස් ගානට මහ පොළොව සිප ගෙන ඇති. පිටසක්වලයා පහ වසර වෙනකං ගිය ඉස්කෝලෙ තිබ්බෙ පිටසක්වලයාගෙ ගෙදර ලඟමයි. ඉතින් සතියකට දවස් දෙකක් විතර පිටසක්වලයා මඩ නාගෙන, ලේ පෙරාගෙන ගෙදර ඇවිත් වෙන ඇඳුමක් ඇඳගෙන ආයෙත් ඉස්කෝලෙට ගිහින් තියෙනවා. ඉතිං ඔය කාලෙ වෙච්ච තුවාල වලින් බොහොමයක කැලැල් දැන් මැකිලා ගිහින් තිබුනට ඒවට අදාල කතන්දරනම් තාම හිතින් මැකිලා ගිහින් නෑ.

පිටසක්වලයාගේ වම් ඇහැගාව ඇහිපිහාටුවේ පල්ලෙහා කොනට වෙන්න පොඩි කැලලක් තියෙනවා. ඒ කැලල වෙලා තියෙන්නෙ පිටසක්වලයා ඉස්කෝලෙ යන්නත් කලින්  කාලෙ දවසක් කාමරේ ඇඳ උඩ සෙල්ලං කර කර ඉන්නකොට අර හුළං පුරෝපු බෝලයක් උඩට අඩිය තියලා එහෙම්මම කැරකිලා ගිහින් ජනෙල් ගැට්ටෙ ඔළුව වැදිලා. මේ මෑතක් වෙනකං පිටසක්වලයාගෙ නළල මැද්දෙ තව තුවාල කැලලක් තිබ්බා. දැන්නං ඒක කුරුළෑ කැලැල් වලට මැකිලා ගිහින්. ඒක වුනේ පිටසක්වලයා ආච්චිලගේ ගෙදරදි වැටිලා. පිටසක්වලයාගේ අවුරුදු දෙකේ උපන්දිනේ දවසෙ ගත්තු ෆොටෝ වල නලල මැද්දෙ තිලකයක් තියලා වගේ තියෙන්නෙ ඒ තුවාලෙ තමයි. පිටසක්වලයා දවසක් ට්‍රයිසිකලෙන් ගෙදර පිටිපස්සෙ පඩිපෙලෙන් පල්ලෙහාටත් ගිහින් තියෙනවා. හැබැයි එදානම් මොකක් හරි වාසනාවකට තමා පිටසක්වලයගෙ ඔළුව එතන පල්ලෙහා තිබ්බ රෙදි අපුල්ලන ගලේ නොවැදී බේරුනේ..

ඊට පස්සෙ පිටසක්වලයා ඉස්කෝලෙ එක වසරෙ ඉන්නකොට දවසක් තව දෙන්නෙක් එක්ක ත්‍රීවීලර් එලෝනවා කියලා තනි කකුලෙන් පොඩි අමුතු සෙල්ලමක් දාන්න ගිහින් හොඳ කොන්ඩෑරුමක් අල්ලලා තියෙනවා. ආයෙ හොඳ මතක හිටින තුවාලයක් වුනේ පිටසක්වලයට පොඩි බයිසිකලේ හම්බුනාට පස්සෙ. ඒකෙන් අපේ ගෙදර පල්ලෙහා බොරළු ගොඩක වැටිලා වෙච්ච තුවාලෙ කැලල තාමත් පිටසක්වලයාගේ වම් දණහිසේ තියෙනවා.

පිටසක්වලයා තුන වසරෙ ඉන්න කාලෙ වලි පප්පා. ඒකාලෙ අපි ගහගන්නෙ අල්ලපු පන්තියත් එක්ක චැලෙන්ජ් එකට. දවසක් ඔහොම ගහගන්න කොට එහා පන්තියෙ එකෙක් එක්ක වැටිලා පෙරලිලා ගිහින් නැවතුනේ ඉස්කෝල වත්ත පල්ලෙහා තිබ්බ රබර් ගහක් පාමුල. හොඳම සිද්ධිය කියන්නෙ ඊට පස්සෙ තුවාලවුන අපි දෙන්නව අපේ පන්තිභාර ටීච අර අනිත් ලමයගෙ ආච්චිත් එක්ක බේත් දාගෙන එන්න කියලා අපේ ගෙදරට යැව්වා. අපි දෙන්නත් ඉතින් ගහගත්තෙ නෑ වගේ ගිහින් බේත් දාගෙන ආවා.

පිටසක්වලයා හතර වසරේ ඉන්න කාලෙ ඒ වෙනකොට හය වසරෙ හිටපු අයියලා කට්ටියක් සෙල්ලම් කර කර හිටපු තැනක් මැද්දෙන් දුවන්න ගිහින් පොල්පිති බැට් පාරක් නාහෙට වැදිලා සුමානයක් විතර මපට් කෙනෙක් වගේ නාහෙ උඩ ප්ලාස්ටරයක් ගහගෙන ඉන්න වුනා. ඊට පස්සෙ පහ වසරෙදි ශිෂ්‍යත්වෙ එහෙම ඉවර වෙලා පන්තියෙ ලමයි එක්ක ඔට්ටු සෙල්ලම් කරලා වැටිච්ච පාරට ඇඟේ පස්පොලක් තුවාල වෙලා ලේ පෙරාගෙන ගෙදර ගියා. අර ඉහත කී හැම වෙලාවකම ගම දෙවනත් වෙන්න අඬපු පිටසක්වලයා ඔය අන්තිමට කියපු වෙලාවෙදි ඇඬුවෙ නෑ.. ඉතින් ඒකත් පිටසක්වලයාගේ මතක සටහනක්.

ඊට පස්සෙ පිටසක්වලයාට හොඳ මතක හිටින වැටිල්ලක් වැටෙන්න හම්බ වුනේ උසස්පෙළ පන්ති වලදි.. පන්ති ඇරිලා ගෙදර එනකොට මදාවි කමට බස්එක නවත්තන්න කලින් බහින්න ගිහින් කකුල පැටලිලා වැටිලා වෙච්ච තුවාලෙ කැළල නම් තාමත් තියෙනවා.

ඉතිං පිටසක්වලයාටනං උගෙ හුඟක් තුවාල කැලැල් වලට අදාල නිධාන කථාව හිතේ තියෙනවා.. ඒ කථා කවදහරි දවසක මෙහෙම හැරිලා බලනකොට සොඳුරු මතක සටහන් පෙලක් විදිහට අපේ පිටිපස්සෙන් එනවා..