Friday, September 30, 2011

ආ... කඩේ ආවද...?


කඩේ ඇතුලෙ ඉන්න මිනිහගෙන් ආයෙ අහන්න දෙයක් තියනවයැ කඩේ ආවද කියලා. ඇත්තට හිතලා බැලුවොත් මිනිහෙක්ට තවත් මිනිහෙක්ගෙන් අහන්න පුළුවන් මෝඩම ප්‍රශ්ණවලින් එකක් තමයි ඕක. ඒත් ඒ වචන දෙක නිසා මිනිස්සු අතර හිතවත්කම් කියන එක පුදුම විදිහට ගොඩනැඟෙනවා. එය වචන දෙක නොකියා ඒ මනුස්සයා ඔතනින් ගියානම් සමහර විට ඒ සිද්ධියම ඇති ආපහු ඒ මිනිස්සු දෙන්න මූණවත් නොබලා ඉන්න. මිනිහා කියන්නෙ මහ පුදුම සතෙක්. උනුත් එක්ක ගණුදෙනු කරන හැටි ගැන පිටසක්වලයට තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.

Saturday, September 24, 2011

හෙලෝ ආච්චි අම්මේ...

චරිත: චූටි ගෑනු ළමයෙක් සහ මවක්
ස්ථානය: නිවසක දුරකථනය අසල
දැරිය දුරකථන සංවාදයක යෙදී සිටී. දැරියගේ මව බිත්තියට මුවාවී හොරෙන් අසා සිටී
දැරිය: හෙලෝ ආච්චි අම්මේ, මට දිග... කොණ්ඩයක් ඕනේ.. අනේ ඔයා එන්නකෝ...
රූප රාමුව මවගේ මුහුණේ සමීප රාමුවකට මාරුවේ.. කාලය තත්පර භාගයක් පමණ..
නැවතත් දැරිය,
දැරිය: අපෝ.. අම්මිට වෙලාවක් නෑ එයාට ඔෆිස් යන්න තියෙනවානේ..
රාමුව දැරියගේ මවට... ඇය යමක් කල්පනා කරන බව පෙන්වයි.. කාලය තත්පර භාගයක් පමණ
පසුබිම් කථනය: ඔබේ දරුවාටත් සතියකට අඟල් භාගය බැගින් සති 6 කින් අඟල් 3ක් දිග කෙස් කළඹක් ගන්න අසුවල් ෂැම්පු වර්ගය පාවිච්චි කරන්න..
රාමුව දැරියට. ඇය දිගු කෙස් කළඹක් සමඟ සතුටින් ඉන්නා බව පෙන්වයි... (මවද සතුටිනි)

මාස තුනකට පසු...
ස්ථානය: නැවතත් නිවස දුරකථනය අසල..
දැරිය: හෙලෝ ආච්චි අම්මේ, අනේ ඔයා එන්නකෝ, මට මේ කොණ්ඩෙ කපා ගන්න ඕනේ.. ඉන්න බෑ කසනවා... තඩි බෝවෙලා හරි වදේ...
පසුබිම් කථනය: ඔබේ දරුවාගේ ඔළුවේ තඩි වැනසීම සඳහා අසවල් කෘමි නාශක වර්ගය භාවිතා කරන්න...

Friday, September 23, 2011

මේ ප්‍රවෘත්තියෑ.....

පිටසක්වලයාට දැන් නම් රූපවාහිනී මාධ්‍ය ආයතන වල යන ප්‍රවෘත්ති දකින කොට මල පනින තත්වයක් තමයි තියෙන්නෙ. ප්‍රවෘත්ති ප්‍රකාශයකට වඩා දැන් දැන් ඒවා නිකන් ඕපදූප ප්‍රකාශයක් වගේ වෙලා කියලයි මටනං හිතෙන්නෙ. පිටසක්වලයලා පොඩි කාලෙ නං ප්‍රවෘත්ති දැම්මහම බොහොම රෙස්පෙක්ටබල් විදිහට ඉඳගත්ත බුවෙක් හරි බුවියක් හරි බොහොම සීරියස් පිට ප්‍රවෘත්තිමය වටිනා කමක් තියෙන දේවල් ටිකක් හොඳ ලිඛිත භාෂාවෙන් කියෙව්වා... ඒ කාලෙ දැන් වගේ චැනල් හැට හුට හමාරක් නොතිබ්බ නිසාත් තිබ්බ චැනල් වලිනුත් කීපයක් පමණක් පිටසක්වලයලගෙ ගෙදර අතිප්‍රභල ඇන්ටනා රාජයාට අහුවෙච්ච නිසාත් ඒ කාලෙ පිටසක්වලයලට හුඟක් වෙලාවට බලන්න හම්බ වුනේ යටියන්තොට විකාශනාගාරෙන් ආපු ස්වාධීන කියන එකයි, පිදුරුතලාගලින් ආපු ජාතික කියන එකයි තමයි.. ආණ්ඩුවේ පම්පෝරිය විතරක් වුනත් ඒ උදවිය ඒ කාලෙ ඒක බොහොම ලස්සනට කෙරුවා.. (දැන් මේ කියෝන ඕපදූප අහන් ඉන්නවට වඩා ආණ්ඩුවේ පම්පෝරිය අහන් ඉන්න එක හොඳයි කියලා හිතෙනවා..)

හැබැයි මෙහෙම ප්‍රශ්ණයක් වුනා.. ඒකාලෙ යුද්ද සීන් හින්දා අපේ මාධ්‍ය අයියලට ඕන පදං නිව්ස් තිබ්බා. මොකවත්ම නැත්තං ආමි එකෙන් කොහෙ හරි කැලෑවක තිබිලා ගල්කටස් එකක් හොයා ගත්තා කියලා හරි කියන්න තිබ්බා.. යුද්දෙ අන්තිම කාලෙ හමුදාව පුදුමාතලන්වලට කිට්ටු කරල ඉද්දි අපේ නිවේදක අයියලාට තිබ්බෙ පුදුමම ආතල් එකක්..  දැන් ඉතින් එහෙම නිව්ස් එකක් හොයා ගන්න අමාරු හින්දද මන්දා මේ අයියලා මේ රටේ නැති විකාර කියවනවා.

දැන් ප්‍රවෘත්ති එක මැද්දෙ පොඩි නාට්‍යයයක් යනවා.. “බත් කන අතින් වෙච්ච වැරදි..“ වගේ මොකක් හරි විකාර නමක් දාගෙන ඉතින් කව්රු හරි එකෙක් කියන කථාවක් රඟලා පෙන්නනවා.. ඊට පස්සෙ දේශපාලන වේදිකාවල එක එකා බැනගත්තුවා හොඳ ලස්සනට එඩිට් පාරක් දාලා තව සෑහෙන වෙලාවක් කරකෝනවා. (ඒක දාන්න කලින් නිවේදක මහත්තයා විසින් පොඩි රුඟුමක් රඟලා ඒ කථාව පොඩ්ඩත් මාකට් කරලත් දෙනවා.) අද එකෙක් කව්රු හරි එකෙක්ට බැන්නොත් හෙට අනිකා ඒකට උත්තරයක් අපේ මාධ්‍ය අයියලලව්ව රෙකෝඩ් කොරගෙන දානවා.. ඒවගෙ දේශපාලන මති මතාන්තර විවේචනය කරගන්නෙ බොහොම කලාතුරකින් වෙලාවක තමා. නැත්තං හුඟක් වෙලාවට උන් බැනගන්නෙ උන් උන්ගෙ පවුල් ප්‍රශ්නයක් ප්‍රජනක පද්ධතියෙ ප්‍රශ්ණයක් හරි ගැන කිය කිය. ඉතින් ඒවා අහන් ඉන්න එකෙකුට වැඩකුත් නෑ, කියන එකෙකුට වැඩකුත් නෑ..

ඒ මදිවට මේ ප්‍රවෘත්ති අයියලා අපේ සමාජය යහමගට ගැනීමේ අරමුණින් අපේ මිනිස්සු පාරෙදි තොටේදි කරන වැරදි හොරෙන් රෙකෝඩ් කොරගෙන ඇවිල්ලා හොඳට මූණටම සූම් කරලා රතු පාටින් රවුම් කරලා පෙන්නනවා.. ඒවගේ වැඩක් කොරන්න ඒ අයියලා කොච්චර එඩිතර වෙන්න ඕනෙද නේ... ඒත් ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නෙ ඔය එඩිතරකම් ඔක්කොම පෙන්නන්නෙ පොඩි මිනිහට වෙන එකයි.. ඇමති කෙනෙකුගේ ලේකම් කෙනෙක් මොකක් හරි ජිල්මාට් වැඩකට මාට්ටු වුනහම “රජයේ ප්‍රභල ඇමතිවරයෙකුගේ..“ කියනවා මිසක් උන්වහන්සෙගේ නම කියන්න බයයි..ඔන්න ඕකයි අපේ රටේ නිදහස් ස්වාධීන ජනමාධ්‍යවල තත්වෙ..

පිටසක්වලයා මේ ටික ලිව්වෙ කාටවත් රිදවන අදහසකින්වත් ඒ උදවියව ඒක පාර්ශවිකව විවේචනය කොරන අදහසකින්වත් නෙමෙයි.. මේ විකාර දිරවන්නැති එකෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා පෙන්නන්න.. (හැබැයි මම දන්නෑ මේවා විකාර විදිහට පේන්නෙ මට විතරද කියලා..)

හැම තුවාල කැලලකටම කථාවක් තියෙනවා


පිටසක්වලයට පොඩි කාලෙ සමබරතාවය පිළිබඳ ලොකු අවුලක් තිබුනා. ඒ කියන්නෙ ලෙඩක් නෙමෙයි.. එක විදිහකට ඉන්න බැරිකමට දඟලන්න ගිහින් හිසේ කෙස් ගානට මහ පොළොව සිප ගෙන ඇති. පිටසක්වලයා පහ වසර වෙනකං ගිය ඉස්කෝලෙ තිබ්බෙ පිටසක්වලයාගෙ ගෙදර ලඟමයි. ඉතින් සතියකට දවස් දෙකක් විතර පිටසක්වලයා මඩ නාගෙන, ලේ පෙරාගෙන ගෙදර ඇවිත් වෙන ඇඳුමක් ඇඳගෙන ආයෙත් ඉස්කෝලෙට ගිහින් තියෙනවා. ඉතිං ඔය කාලෙ වෙච්ච තුවාල වලින් බොහොමයක කැලැල් දැන් මැකිලා ගිහින් තිබුනට ඒවට අදාල කතන්දරනම් තාම හිතින් මැකිලා ගිහින් නෑ.

පිටසක්වලයාගේ වම් ඇහැගාව ඇහිපිහාටුවේ පල්ලෙහා කොනට වෙන්න පොඩි කැලලක් තියෙනවා. ඒ කැලල වෙලා තියෙන්නෙ පිටසක්වලයා ඉස්කෝලෙ යන්නත් කලින්  කාලෙ දවසක් කාමරේ ඇඳ උඩ සෙල්ලං කර කර ඉන්නකොට අර හුළං පුරෝපු බෝලයක් උඩට අඩිය තියලා එහෙම්මම කැරකිලා ගිහින් ජනෙල් ගැට්ටෙ ඔළුව වැදිලා. මේ මෑතක් වෙනකං පිටසක්වලයාගෙ නළල මැද්දෙ තව තුවාල කැලලක් තිබ්බා. දැන්නං ඒක කුරුළෑ කැලැල් වලට මැකිලා ගිහින්. ඒක වුනේ පිටසක්වලයා ආච්චිලගේ ගෙදරදි වැටිලා. පිටසක්වලයාගේ අවුරුදු දෙකේ උපන්දිනේ දවසෙ ගත්තු ෆොටෝ වල නලල මැද්දෙ තිලකයක් තියලා වගේ තියෙන්නෙ ඒ තුවාලෙ තමයි. පිටසක්වලයා දවසක් ට්‍රයිසිකලෙන් ගෙදර පිටිපස්සෙ පඩිපෙලෙන් පල්ලෙහාටත් ගිහින් තියෙනවා. හැබැයි එදානම් මොකක් හරි වාසනාවකට තමා පිටසක්වලයගෙ ඔළුව එතන පල්ලෙහා තිබ්බ රෙදි අපුල්ලන ගලේ නොවැදී බේරුනේ..

ඊට පස්සෙ පිටසක්වලයා ඉස්කෝලෙ එක වසරෙ ඉන්නකොට දවසක් තව දෙන්නෙක් එක්ක ත්‍රීවීලර් එලෝනවා කියලා තනි කකුලෙන් පොඩි අමුතු සෙල්ලමක් දාන්න ගිහින් හොඳ කොන්ඩෑරුමක් අල්ලලා තියෙනවා. ආයෙ හොඳ මතක හිටින තුවාලයක් වුනේ පිටසක්වලයට පොඩි බයිසිකලේ හම්බුනාට පස්සෙ. ඒකෙන් අපේ ගෙදර පල්ලෙහා බොරළු ගොඩක වැටිලා වෙච්ච තුවාලෙ කැලල තාමත් පිටසක්වලයාගේ වම් දණහිසේ තියෙනවා.

පිටසක්වලයා තුන වසරෙ ඉන්න කාලෙ වලි පප්පා. ඒකාලෙ අපි ගහගන්නෙ අල්ලපු පන්තියත් එක්ක චැලෙන්ජ් එකට. දවසක් ඔහොම ගහගන්න කොට එහා පන්තියෙ එකෙක් එක්ක වැටිලා පෙරලිලා ගිහින් නැවතුනේ ඉස්කෝල වත්ත පල්ලෙහා තිබ්බ රබර් ගහක් පාමුල. හොඳම සිද්ධිය කියන්නෙ ඊට පස්සෙ තුවාලවුන අපි දෙන්නව අපේ පන්තිභාර ටීච අර අනිත් ලමයගෙ ආච්චිත් එක්ක බේත් දාගෙන එන්න කියලා අපේ ගෙදරට යැව්වා. අපි දෙන්නත් ඉතින් ගහගත්තෙ නෑ වගේ ගිහින් බේත් දාගෙන ආවා.

පිටසක්වලයා හතර වසරේ ඉන්න කාලෙ ඒ වෙනකොට හය වසරෙ හිටපු අයියලා කට්ටියක් සෙල්ලම් කර කර හිටපු තැනක් මැද්දෙන් දුවන්න ගිහින් පොල්පිති බැට් පාරක් නාහෙට වැදිලා සුමානයක් විතර මපට් කෙනෙක් වගේ නාහෙ උඩ ප්ලාස්ටරයක් ගහගෙන ඉන්න වුනා. ඊට පස්සෙ පහ වසරෙදි ශිෂ්‍යත්වෙ එහෙම ඉවර වෙලා පන්තියෙ ලමයි එක්ක ඔට්ටු සෙල්ලම් කරලා වැටිච්ච පාරට ඇඟේ පස්පොලක් තුවාල වෙලා ලේ පෙරාගෙන ගෙදර ගියා. අර ඉහත කී හැම වෙලාවකම ගම දෙවනත් වෙන්න අඬපු පිටසක්වලයා ඔය අන්තිමට කියපු වෙලාවෙදි ඇඬුවෙ නෑ.. ඉතින් ඒකත් පිටසක්වලයාගේ මතක සටහනක්.

ඊට පස්සෙ පිටසක්වලයාට හොඳ මතක හිටින වැටිල්ලක් වැටෙන්න හම්බ වුනේ උසස්පෙළ පන්ති වලදි.. පන්ති ඇරිලා ගෙදර එනකොට මදාවි කමට බස්එක නවත්තන්න කලින් බහින්න ගිහින් කකුල පැටලිලා වැටිලා වෙච්ච තුවාලෙ කැළල නම් තාමත් තියෙනවා.

ඉතිං පිටසක්වලයාටනං උගෙ හුඟක් තුවාල කැලැල් වලට අදාල නිධාන කථාව හිතේ තියෙනවා.. ඒ කථා කවදහරි දවසක මෙහෙම හැරිලා බලනකොට සොඳුරු මතක සටහන් පෙලක් විදිහට අපේ පිටිපස්සෙන් එනවා..

Sunday, September 18, 2011

ලෙදර් Vs සොෆ්ට් බෝල්.

පිටසක්වලයාට තාම හිතා ගන්න බැරි දෙයක් තමයි සුද්දා මොන මඟුලකට ක්‍රිකට් ගහන්න මේ ලෙදර් බෝලෙ කියන එක ගත්තද කියලා. සමහර විට සුද්දා ක්‍රිකට් හොයාගන්න ඇත්තෙ රබර් හොයාගන්න කලින් වෙන්න ඕනෙ. කොහොම හරි බෝම්බයක් නිශ්ක්‍රීය කරන්න යන මිනිහෙකුටත් වඩා ගාඩ් ගොඩක් පැලඳගෙන නීල් ආම්ස්ට්‍රෝන් හඳට බැස්සා වගේ පිච් එකට බහින හැටි දැක්කහම වෙලාවකට හිනත් යනවා. ගමේ ගොඩේ කොල්ලො ආතල් එකේ පොඩි පිට්ටනි කෑල්ලක එහෙම නැත්තං පාරෙ එහෙමත්නැත්තං මිදුලක, කොරිඩෝවක වගේ ගහන ක්‍රිකට්වලයි අර ක්‍රිකට්වලයි ලොකු වෙනසක් තියෙනවා. ඇත්තම කියනවනං ක්‍රිකට් කියලා එකක් ගැන නොදන්න මිනිහෙක් මේක දැක්කොත් අනිවාර්යෙන්ම මේ දෙක සෙල්ලං දෙකක් කියලා හිතයි. (ඇත්තටම බැලුවොත් ලෝකෙ ක්‍රිකට් කියලා සෙල්ලමක් ගැන දන්නෙත් බොහොම ටික දෙනයි තමයි.)

මම කලින් කිව්ව ගමේ ක්‍රිකට්වල නීති සෙල්ලං කරන තැන අනුව වෙනස් වෙනවා. අල්ලපුවත්තට ගියොත් අවුට්, පාරට ගියොත් අවුට්, වහලෙ කැච් අවුට්, වගේ අමුතු නීති ඒකට ස්ථානෝචිතව කොල්ලන් විසින් හඳුන්වලා දෙනවා. ඒකට සුවිශේෂීවූ හේතුවක් තියෙනවා. ඒ නීති තිබ්බෙ නැතිවුනොත් කොල්ලන්ට ක්‍රිකට් ගහනවට වඩා වෙලාවක් යන්නෙ බෝලෙ හොයන්න. ඉතින් එතකොට ප්ලේයර්ස්ලගේ වෝම් අප් එකත් බහිනවා. ඒ විතරක් නෙමෙයි පිට්ටනියට ආසන්න වත්තෙ අයිතිකාරයත් සමඟ කොල්ලන්ට තියෙන සුහදතාවය මතත් මේ සෙල්ලමේ නීති වෙනස් වෙනවා.(උදා: වස මාමාගේ වත්ත අවුට්) සෙල්ලමට ඉන්න ක්‍රීඩක සංඛ්‍යාව හා ක්‍රීඩකයන්ගේ පෙර පුද්ගලික වාර්තා සසඳා බැලීමෙනුත් සමහර අවස්ථා වල විශේෂිත නීති හඳුන්වලා දෙනවා. (උදා: ලාස්ට් මෑන්ට චාන්ස්, එක් පුද්ගලයෙක් අත් දෙකක් සෙල්ලම් කිරීම වගේ ඒවා.)

දැං අපි ඉස්කෝලෙ ක්‍රිකට් ගැන සලකලා බලමු. ඒකෙදිත් හුඟක් වෙලාවට ඒකටම ආවේනික නිතිරීති ටිකක් දැකගන්න පුළුවන්. ඉස්කෝලෙ ක්‍රිකට් ගැන කථා කරනකොට ඒකෙත් උප ප්‍රභේද ගොඩකුත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒවාගෙන් ප්‍රධානම ප්‍රභේදය තමයි ඉන්ටවල් එකේ ක්‍රිකට්. ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේ ඩෙස්ක් එක අස්සෙ දාගෙන කෑම එක කාලා ඉන්ටවල් බෙල් එක ගහපු ගමන් කස්ටියම දුවනවා පිට්ටනි‍යෙ තියෙන තම තම කන්ඩායම් වලට අයිති වෙරළු ගහක් හරි ඒහා සමාන වෙන මොකක් හරි තැකනට. බොහෝ විට තරඟයේ ප්‍රධාන කඩුල්ල වශයෙන් පාවිච්චි කරන්නෙ මම අර කලින් කියපු ගහ. (එහෙම නැත්තං කැඩිච්ච පුටුවක් හරි ලී කෑල්ලක් හරි පාවිච්චි කල හැකි) පන්දු යවන්නන්ගේ අන්තයේ කඩුල්ල නං බොහෝවිට ගඩොලක්. හුඟක් වෙලාවට මෙතනදි සෙල්ලං කරන්නෙ එක කණ්ඩායමකට ඕවර්ස් තුනයි වැඩිම උනොත් පහයි. නැත්තං වෙලාව මදිනෙ. අද නැවැත්තුව තැන ඉඳන් හෙට සෙල්ලං කරන ටෙස්ට් ක්‍රිකට් වගේ ප්‍රභේදයකුත් තියෙනවා.

ඉස්කෝලෙ ක්‍රිකට් වල ඊළඟ ප්‍රධාන ප්‍රභේදය තමයි ෆ්රී පීරියඩ් වල ගහන ගෘහස්ථ ක්‍රිකට්. හැබැයි ඒක නම් බොහොම අවදානම් සෙල්ලමක්. පොඩ්ඩක් ගැස්සුනොත් පන්තිය පිටින්ම මුළු දවසම පිට්ටනියේ දණගහගෙන ඉඳිල්ලක් තමා. ඉතින් ඕකට හුඟක් වෙලාවට පාවිච්චි කරන්නෙ කඩදාසි බෝලයක් වගේ එකක් තමා. (එහෙම නැත්තං වන් බම්ප් කියන ප්‍රභේදය) පන්දුවට පහර දෙන කණ්ඩායමේ ක්‍රීඩකයෙක් පඩිපෙල ගාව මුරට දැමීම මෙහිදී සාමාන්‍ය සිරිතක්. ඌ කඩාගෙන බිඳගෙන පන්තිය පැත්තට දුවගෙන එනවා දැක්කොත් ක්‍රීඩකයන් තම තමාට ආසන්නතම පුටුව වෙතට ගොස් අතට අහුවෙන පොතක් අරගෙන පාඩම් කරන්න ගන්නවා. සමහරු හිස් පොත් හිටන් පාඩම් කරනවා.

ඉස්කෝලෙන් ගහන ඔෆීෂියල් ක්‍රිකට් වල උච්චතම අවස්ථාව තමයි බිග් මැච් එක. ඒකෙන් අපේ කොල්ලන්ට අතේ පයේ හිරි ඇරගන්න අගනා අවස්ථාවක් උදා වෙනවා. ඒක ගැන වෙනම දවසක් ලියන්න පුළුවන්.

තවත් ගොඩක් ක්‍රිකට් වර්ග ගැන ලියන්න තියෙනවා. පිටසක්වලයා වෙනම දවසක් අරගෙන ඉතුරු ටිකත් ලියන්නං. හැබැයි කොහොමින් කොහොමින් හරි ක්‍රිකට් වලට මේ ඉන්දියානු උප මහද්වීපය තුල පුදුම තැනක් ලැබිලා තියෙනවා. කතා සීයක් පවත්වලාවත් එක අදහසකට ගන්න අමාරු මේ මිනිස්සුන්ව ක්‍රිකට් වලින් එක තැනකට ගන්න පුළුවන්. ඒකයි ඔය මොන ප්‍රභේදයක ක්‍රිකට් වුනත් තියෙන වටිනාකම.

Saturday, September 17, 2011

ඩී.එච්.ඒ., ප්‍රෝබයෝටික්, සහ පොඩි එවුන්


දැන් වැරදිලා හරි ටීවී එක පොඩ්ඩකට බැලුවොත් පුදුම හිතෙන දේවල් තොගයක් බලාගන්න පුළුවන්. දේශපාලනයට අදාල විහිළු කථා ඇරුනහම ඒකෙ වැඩිහරියක් යන්නෙ විෂබීජයි, අහිතකර බැක්ටීරියයි ගැන තමයි. පොඩි එකා ඉපදුන වෙලාවෙ ඉඳන් ඌට අමුතු අමුතු විද්‍යාත්මක කියෝගන්න අමාරු පෝෂ්‍ය පදාර්ථ අඩංගු කෑම වර්ග දෙන්න ඕනෙලු. නැත්තං දරුවාගේ මොළය වර්ධනය වෙන්නැතිලු. ඒවා කන බොන ළමයින්ට පහට ගනින්න කලින් දහයට ගනින්න පුළුවන් වෙනවලු. හැබැයි ඉතිං ඔය කියන ජාති මොකුත් නැතුවත් ඒකාලෙ මිනිස්සු හැදුනා.
එතකොට 40 විතර පැණලා ගොක්කොල පෙනීගෙන එන ගෑනු උදවියට තව අමුතු ජාති ඕන වෙනවා. ඒ ජාති බිව්වෙ නැත්තං ඒ ගොල්ලංගෙ කටු දිරලා කොයිවෙලේ කඩා හැලෙයිද කියලා ෂුවර් නෑ.
කන බොන ජාති විතරක් නම් මදෑ. ඇඟේ ගාන ජාතිත්වලිනුත් මාර දේවල් කරන්න පුළුවන්ලුනේ. බේත් ගන්න දොස්තර ගාවට ගියහම එයා ගාව තියෙන අරුම පුදුම ටෝච් එක ගැහුවහම විෂබීජ තියෙනවා කියලා පේනවලු. ඉතිං ළමයිනුත් අරං ආපු ඒ ඇහැට කණට පේන අම්මලට අර හැන්ඩි දොස්තර මොන ලෙඩේට බේත් ගන්න ආවත් දෙන්නෙ සබන්ලු.
විෂබීජ ඇරුනහම මෙහෙ අයට තවත් ලොකු ප්‍රශ්ණයක් තියෙනව. ඒ තමා සුදු වෙන එක. හැබැයි ඒක නං අදක ඊයෙක නෙමෙයි දැං සෑහෙන කාලෙක ඉඳං තිබ්බා. හැබැයි ඔය ටීවී ඇඩ් වලට පිං සිද්ධ වෙන්න දැං මෙහෙ ගෑනු උදවියගෙ මූණු නං සුදු වෙලා ඉවරයි මගෙ හිතේ. ඒ හින්දා දැං ඇඩ් දාන්නෙ. මූනෙ පාටට ඇඟ සුදු කරගන්න විදි ගැන. ඒ විතරක් නං මදෑ. පිරිමි උදවියට සුදු වෙලා ඉන්ටව් බෝඩ් පිස්සු වට්ටන්නත් දැං බේත් තියෙනවා.
මේක නං මළ විකාරයක් වෙලා. හැබැයි ඉතිං ඔය ඇඩ් හදන උදවියටනං හොඳ ක්‍රියේටිවිටියක් තියෙනවා. ඒකනෙ ඔහොම දේවල් මාකට් කරන්න පුළුවන් කියලා කල්පනා වෙන්නෙ. අපි ඒකනං අගය කරන්න ඕනෙ. හැබැයි ඉතිං ඔය සබන් ජාති දත්බේත් ජාති වගේ ඒවා කොහොම වෙතත් කනබොන ජාතිවල තියෙනවා කියන ඒවා ගැනනං පොඩි වගකීමකින් ඒ උදවිය කටයුතු කලොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකක් වුනත් ඒ මිනිහෙක්ගෙ බඩට යන දෙයක්නෙ. විශේෂයෙන් පොඩි ළමයින්ගෙ...

Friday, September 16, 2011

රිළවාට රිළවෙක් වීමට නොදී නැන්දම්මලාගේ ගෙදර යැවීම...

කොණ්ඩෙ කපන්න බාබර් සාප්පුවෙ පෝලිමේ ඉඳගෙන ඉන්නකොට පාරෙ යන අහිකුණ්ඨිකයෙක් ඇඳුමක් අන්දවපු රිළවෙක් දම්වැලක් දාගෙන ගිනි අව්වෙ ඇවිදගෙන යනවා දැකලා මට අහිකුණ්ඨිකයට වඩා රිළවා ගැන දුකක් ඇති වුනා.. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ ඉඳන්ම මිනිහට ඕන වුනේ ඌ දකින හැම දෙයක්ම ඌට ඕන විදිහට වෙනවා දකින්නයි. පොඩි උදාහරණයක් කියන්නං.. අපි පොඩිකාලෙ අපිට අහන්න ලැබුන හැම සුරංගනා කථාවකම ඉන්න සත්තුන්ට කථා කරන්න පුළුවන්... ඒ මදිවට පන්සිය පනස් ජාතක පොතේ සත්තුන්ටත් කථා කළහැකි... මොන විකාරයක්ද.. මිනිහට හැමදාම ඕන වුනේ අහක ඉන්න සතා පවා මිනිහ වගේ කරන්න.. කොටින්ම උන් තුලින් මනුශ්‍ය හැසිරීම් දකින්න.
හැබැයි මෙතනදි පොඩි ප්‍රශ්ණයක් ඇති වෙනවා.. අහිකුණ්ඨිකයා ඒ පෘත:ජන මිනිහගේ ආසාව උගේ රස්සාව කර ගත්තා.. ඒකෙන් ඌ සහ උගෙ පවුල රැකුනා.. ඒ රස්සාව නැත්තං උගෙ පවුල බඩගින්නෙ.. ඉතිං සියළු සතුන් වෙනුවෙන් කරුණාව පළකොරන්න කලින් සියළු මිනිසුන් වෙනුවෙන් කරුණාව පහල කොරන්න ඕනෙ කියලා මට හිතෙන හින්දා මම අහිකුණ්ඨිකයගේ පැත්ත ගන්නවා.. ඇරත් සුරංගනා කථාවල වගේ රිළවා නැඟිටලා “මට මේ මඟුල හැමදාම කරන්න බෑ ඕයි.. මට දැං රිළවෙක් වගේ ඉන්න ඕනෙ“ කියලා කියන තාක් කාලයක් රිළවා ඔය දම්වැලේ පැටලිලා අහිකුණ්ඨිකයා පස්සෙන්ම යාවි.. එතුවක් කාලයක් මේ දුකින් පෙළෙන මිනිස්සු වඳුරු නැටුමක් දිහා බලල ටික වෙලාවකට සතුටු වේවි.. එතකං අහිකුණ්ඨිකයෝ කියල ජාතියක් ඉතුරු වෙලා හිටියොත් උන්ගෙත් බඩවියත රැකේවි...
ප.ලි.: කල්පනා කරල බලනකොට අපිත් ඒ රිළවා වගේම නොවේදැයි වෙලාවකට හිතෙනවා... අපිත් ජීවිත කාලය පුරාම අනිත් එවුන්ට රිළා නැටුම් පෙන්නලා ඔහේ මැරිලා යනවා.. අපේ ඇතුලාන්තයේ ඉන්න රිළවා වෙලා ටික වෙලාවක්වත් ඉන්න අපිට හම්බවෙන්නෙ නෑ...