Sunday, September 18, 2011

ලෙදර් Vs සොෆ්ට් බෝල්.

පිටසක්වලයාට තාම හිතා ගන්න බැරි දෙයක් තමයි සුද්දා මොන මඟුලකට ක්‍රිකට් ගහන්න මේ ලෙදර් බෝලෙ කියන එක ගත්තද කියලා. සමහර විට සුද්දා ක්‍රිකට් හොයාගන්න ඇත්තෙ රබර් හොයාගන්න කලින් වෙන්න ඕනෙ. කොහොම හරි බෝම්බයක් නිශ්ක්‍රීය කරන්න යන මිනිහෙකුටත් වඩා ගාඩ් ගොඩක් පැලඳගෙන නීල් ආම්ස්ට්‍රෝන් හඳට බැස්සා වගේ පිච් එකට බහින හැටි දැක්කහම වෙලාවකට හිනත් යනවා. ගමේ ගොඩේ කොල්ලො ආතල් එකේ පොඩි පිට්ටනි කෑල්ලක එහෙම නැත්තං පාරෙ එහෙමත්නැත්තං මිදුලක, කොරිඩෝවක වගේ ගහන ක්‍රිකට්වලයි අර ක්‍රිකට්වලයි ලොකු වෙනසක් තියෙනවා. ඇත්තම කියනවනං ක්‍රිකට් කියලා එකක් ගැන නොදන්න මිනිහෙක් මේක දැක්කොත් අනිවාර්යෙන්ම මේ දෙක සෙල්ලං දෙකක් කියලා හිතයි. (ඇත්තටම බැලුවොත් ලෝකෙ ක්‍රිකට් කියලා සෙල්ලමක් ගැන දන්නෙත් බොහොම ටික දෙනයි තමයි.)

මම කලින් කිව්ව ගමේ ක්‍රිකට්වල නීති සෙල්ලං කරන තැන අනුව වෙනස් වෙනවා. අල්ලපුවත්තට ගියොත් අවුට්, පාරට ගියොත් අවුට්, වහලෙ කැච් අවුට්, වගේ අමුතු නීති ඒකට ස්ථානෝචිතව කොල්ලන් විසින් හඳුන්වලා දෙනවා. ඒකට සුවිශේෂීවූ හේතුවක් තියෙනවා. ඒ නීති තිබ්බෙ නැතිවුනොත් කොල්ලන්ට ක්‍රිකට් ගහනවට වඩා වෙලාවක් යන්නෙ බෝලෙ හොයන්න. ඉතින් එතකොට ප්ලේයර්ස්ලගේ වෝම් අප් එකත් බහිනවා. ඒ විතරක් නෙමෙයි පිට්ටනියට ආසන්න වත්තෙ අයිතිකාරයත් සමඟ කොල්ලන්ට තියෙන සුහදතාවය මතත් මේ සෙල්ලමේ නීති වෙනස් වෙනවා.(උදා: වස මාමාගේ වත්ත අවුට්) සෙල්ලමට ඉන්න ක්‍රීඩක සංඛ්‍යාව හා ක්‍රීඩකයන්ගේ පෙර පුද්ගලික වාර්තා සසඳා බැලීමෙනුත් සමහර අවස්ථා වල විශේෂිත නීති හඳුන්වලා දෙනවා. (උදා: ලාස්ට් මෑන්ට චාන්ස්, එක් පුද්ගලයෙක් අත් දෙකක් සෙල්ලම් කිරීම වගේ ඒවා.)

දැං අපි ඉස්කෝලෙ ක්‍රිකට් ගැන සලකලා බලමු. ඒකෙදිත් හුඟක් වෙලාවට ඒකටම ආවේනික නිතිරීති ටිකක් දැකගන්න පුළුවන්. ඉස්කෝලෙ ක්‍රිකට් ගැන කථා කරනකොට ඒකෙත් උප ප්‍රභේද ගොඩකුත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒවාගෙන් ප්‍රධානම ප්‍රභේදය තමයි ඉන්ටවල් එකේ ක්‍රිකට්. ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේ ඩෙස්ක් එක අස්සෙ දාගෙන කෑම එක කාලා ඉන්ටවල් බෙල් එක ගහපු ගමන් කස්ටියම දුවනවා පිට්ටනි‍යෙ තියෙන තම තම කන්ඩායම් වලට අයිති වෙරළු ගහක් හරි ඒහා සමාන වෙන මොකක් හරි තැකනට. බොහෝ විට තරඟයේ ප්‍රධාන කඩුල්ල වශයෙන් පාවිච්චි කරන්නෙ මම අර කලින් කියපු ගහ. (එහෙම නැත්තං කැඩිච්ච පුටුවක් හරි ලී කෑල්ලක් හරි පාවිච්චි කල හැකි) පන්දු යවන්නන්ගේ අන්තයේ කඩුල්ල නං බොහෝවිට ගඩොලක්. හුඟක් වෙලාවට මෙතනදි සෙල්ලං කරන්නෙ එක කණ්ඩායමකට ඕවර්ස් තුනයි වැඩිම උනොත් පහයි. නැත්තං වෙලාව මදිනෙ. අද නැවැත්තුව තැන ඉඳන් හෙට සෙල්ලං කරන ටෙස්ට් ක්‍රිකට් වගේ ප්‍රභේදයකුත් තියෙනවා.

ඉස්කෝලෙ ක්‍රිකට් වල ඊළඟ ප්‍රධාන ප්‍රභේදය තමයි ෆ්රී පීරියඩ් වල ගහන ගෘහස්ථ ක්‍රිකට්. හැබැයි ඒක නම් බොහොම අවදානම් සෙල්ලමක්. පොඩ්ඩක් ගැස්සුනොත් පන්තිය පිටින්ම මුළු දවසම පිට්ටනියේ දණගහගෙන ඉඳිල්ලක් තමා. ඉතින් ඕකට හුඟක් වෙලාවට පාවිච්චි කරන්නෙ කඩදාසි බෝලයක් වගේ එකක් තමා. (එහෙම නැත්තං වන් බම්ප් කියන ප්‍රභේදය) පන්දුවට පහර දෙන කණ්ඩායමේ ක්‍රීඩකයෙක් පඩිපෙල ගාව මුරට දැමීම මෙහිදී සාමාන්‍ය සිරිතක්. ඌ කඩාගෙන බිඳගෙන පන්තිය පැත්තට දුවගෙන එනවා දැක්කොත් ක්‍රීඩකයන් තම තමාට ආසන්නතම පුටුව වෙතට ගොස් අතට අහුවෙන පොතක් අරගෙන පාඩම් කරන්න ගන්නවා. සමහරු හිස් පොත් හිටන් පාඩම් කරනවා.

ඉස්කෝලෙන් ගහන ඔෆීෂියල් ක්‍රිකට් වල උච්චතම අවස්ථාව තමයි බිග් මැච් එක. ඒකෙන් අපේ කොල්ලන්ට අතේ පයේ හිරි ඇරගන්න අගනා අවස්ථාවක් උදා වෙනවා. ඒක ගැන වෙනම දවසක් ලියන්න පුළුවන්.

තවත් ගොඩක් ක්‍රිකට් වර්ග ගැන ලියන්න තියෙනවා. පිටසක්වලයා වෙනම දවසක් අරගෙන ඉතුරු ටිකත් ලියන්නං. හැබැයි කොහොමින් කොහොමින් හරි ක්‍රිකට් වලට මේ ඉන්දියානු උප මහද්වීපය තුල පුදුම තැනක් ලැබිලා තියෙනවා. කතා සීයක් පවත්වලාවත් එක අදහසකට ගන්න අමාරු මේ මිනිස්සුන්ව ක්‍රිකට් වලින් එක තැනකට ගන්න පුළුවන්. ඒකයි ඔය මොන ප්‍රභේදයක ක්‍රිකට් වුනත් තියෙන වටිනාකම.

No comments:

Post a Comment