Friday, September 16, 2011

රිළවාට රිළවෙක් වීමට නොදී නැන්දම්මලාගේ ගෙදර යැවීම...

කොණ්ඩෙ කපන්න බාබර් සාප්පුවෙ පෝලිමේ ඉඳගෙන ඉන්නකොට පාරෙ යන අහිකුණ්ඨිකයෙක් ඇඳුමක් අන්දවපු රිළවෙක් දම්වැලක් දාගෙන ගිනි අව්වෙ ඇවිදගෙන යනවා දැකලා මට අහිකුණ්ඨිකයට වඩා රිළවා ගැන දුකක් ඇති වුනා.. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ ඉඳන්ම මිනිහට ඕන වුනේ ඌ දකින හැම දෙයක්ම ඌට ඕන විදිහට වෙනවා දකින්නයි. පොඩි උදාහරණයක් කියන්නං.. අපි පොඩිකාලෙ අපිට අහන්න ලැබුන හැම සුරංගනා කථාවකම ඉන්න සත්තුන්ට කථා කරන්න පුළුවන්... ඒ මදිවට පන්සිය පනස් ජාතක පොතේ සත්තුන්ටත් කථා කළහැකි... මොන විකාරයක්ද.. මිනිහට හැමදාම ඕන වුනේ අහක ඉන්න සතා පවා මිනිහ වගේ කරන්න.. කොටින්ම උන් තුලින් මනුශ්‍ය හැසිරීම් දකින්න.
හැබැයි මෙතනදි පොඩි ප්‍රශ්ණයක් ඇති වෙනවා.. අහිකුණ්ඨිකයා ඒ පෘත:ජන මිනිහගේ ආසාව උගේ රස්සාව කර ගත්තා.. ඒකෙන් ඌ සහ උගෙ පවුල රැකුනා.. ඒ රස්සාව නැත්තං උගෙ පවුල බඩගින්නෙ.. ඉතිං සියළු සතුන් වෙනුවෙන් කරුණාව පළකොරන්න කලින් සියළු මිනිසුන් වෙනුවෙන් කරුණාව පහල කොරන්න ඕනෙ කියලා මට හිතෙන හින්දා මම අහිකුණ්ඨිකයගේ පැත්ත ගන්නවා.. ඇරත් සුරංගනා කථාවල වගේ රිළවා නැඟිටලා “මට මේ මඟුල හැමදාම කරන්න බෑ ඕයි.. මට දැං රිළවෙක් වගේ ඉන්න ඕනෙ“ කියලා කියන තාක් කාලයක් රිළවා ඔය දම්වැලේ පැටලිලා අහිකුණ්ඨිකයා පස්සෙන්ම යාවි.. එතුවක් කාලයක් මේ දුකින් පෙළෙන මිනිස්සු වඳුරු නැටුමක් දිහා බලල ටික වෙලාවකට සතුටු වේවි.. එතකං අහිකුණ්ඨිකයෝ කියල ජාතියක් ඉතුරු වෙලා හිටියොත් උන්ගෙත් බඩවියත රැකේවි...
ප.ලි.: කල්පනා කරල බලනකොට අපිත් ඒ රිළවා වගේම නොවේදැයි වෙලාවකට හිතෙනවා... අපිත් ජීවිත කාලය පුරාම අනිත් එවුන්ට රිළා නැටුම් පෙන්නලා ඔහේ මැරිලා යනවා.. අපේ ඇතුලාන්තයේ ඉන්න රිළවා වෙලා ටික වෙලාවක්වත් ඉන්න අපිට හම්බවෙන්නෙ නෑ...

No comments:

Post a Comment